Sunday School

  • image

අනාගත මීසම අද දහම් පාසලයි.

ක්‍රිස්තු වර්ෂ 1961 දී ආධාර ලබන පාසල් රජයට පවරාගැනීමත් සමගම කිතුනු ජනතාවට මුහුණ පෑමට සිදුවූ බරපතලම අභියෝගය වූයේ පාසල්වල කතෝලික අධ්‍යාපනය අඩපණ වීමයි.කිතුනු සාරධර්ම සහ ආචාර ධර්ම පිරිහෙද්දි එය නගාසිටුවන්නට ගාළු පදවි එවකට රදගුරු අතිඋතුම් දොන් සිල්වෙස්ටර් හිමිපාණන් ඉදිරිපත් විය.
කඩලාන ශාන්ත අන්තෝනි දෙව්මැදුරට අයත් පාසල් දරුවන්ගේ මෙම අවශ්‍යතාව පිරිමසාලීම  සඳහා විදුහල්වල කිතුනු ගුරුභවතුන්ගේ  හා මරිය භටයන්ගේ සහය ලබමින් එවකට මීසම් සේවක වූ ගරු ජුලියස් විජේසූරිය(නි.ම.නි.) පියතුමන්ගේ උපදේශකත්වයෙන් ධර්මෝපදේශ පන්ති අරඹන ලදී.
1972 දී පදවි මට්ටමින් ආගමික අධ්‍යාපනය ලබාදීමට අතිඋතුම් රදගුරු හිමිපාණන් ඉදිරිපත් විය.අනතුරුව පදවි මට්ටමින් දහම් පාසල නමින් ව්‍යාප්ත විය.
ක්‍රමක්‍රමයෙන් කිතුනු ගුරුභවතුන් සහ ජේෂ්ට පාඨශාලා සහතික පත්‍ර ලබාගත් සිසුන් සම්බන්ධ කරගනිමින් මීසමේ දහම් පාසල් සේවාව පවත්වාගෙන යාමට ගරු ටියුඩර් වනිගසේකර පියතුමන් පියවර ගත්හ.
කන්‍යා සොහොයුරියන්ගේ මගපෙන්වීම මත ගුරුභවතුන් පහළොස් දෙනෙකුගෙන් පමණ අරඹන ලද දම් පාසලේ අද වන විට ගුරුභවතුන් 45 දෙනෙකුට ආසන්න ගණනක් සේවය කරති.
1977 දී එවකට මීසම්පති වූ ගරු බෙනඩික්ට් ජයතිලක පියතුමෝ අප දහම් පාසලට තූර්ය වාදක කණ්ඩායමක් හඳුන්වා දුන්හ.සවස 3ට පවත්වන ලද ඥානෝපදේශය (දහම් පාසල ) උදෑසන පැවැත්වීමට කටයුතු කරන ලද්දේ ගරු ෂර්ලි බර්ට්‍රම් රංජිත් පියතුමාගේ සේවා කාලයේදී ය.
වර්ෂ 1992-1997 දක්වා සේවය කල ගරු ජූඩ් ප්‍රියන්ත ප්‍රනාන්දු පියතුමා දහම් පාසලට මීසමේ වැදගත් ස්ථානය ලබා දෙමින් නව ආරකින් දියුණු තත්වයකට පත්කල බව සඳහන් කල යුතුමය.
දහම් පාසලේ දහම් දැනුමින් පෝෂණ වූ දරුවන් අතර සමිඳු මිදි උයනේ සේවය කරන ගරු පියවරුන්, ගරු කන්‍යා සොහොයුරියන් මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවල යෙදෙන දරුවන්ද කලා කේෂ්ත්‍රයේ රංගන ශිල්පීන්ද සිටිති.
දහම් පාසලේ සුබසාධන කටයුතු වලට සහය වනු පිණිස ගරු ප්‍රසාද් පෙරේරා පියතුමාගේ සේවා කාලයේදී දහම් පාසල් දෙමාපිය සංගමයක් ස්ථාපිත කරන ලදී.
දෙමාපිය සංගමයෙන් දරුවන් සඳහා කරනු ලබන සේවාවන් අරුත්බර කිරිම,දහම් ගුරුභවතුන්ගේ අධ්‍යාත්මික පෝෂණය මෙන්ම දරුවන් වෙත වාර්ෂිකව පැවැත්වෙන තේවත්ත ළමා දිනයට සමගාමීව චාරිකාවක් ලබා දීම වැනි වෙනස්කම් සිදුකරමින් ශක්තිමත් පසුබිමක් තුළ කඩලානේ අනාගතය බඳු දහම් පාසල වත්මන් හී ගොඩනගන මීසම් සේවක මොරටුව දිසා නායක අතිගරු ලලිත් පෙරේරා පියතුමන්ගේ සහ සහායක මීසම් සේවක ගරු දිනෙෂ් ප්‍රශාන් පියතුමන්ගේ කැපවීම පැසසිය යුතුය.
වසර 13කට පමණ පසුව දහම් පාසලේ දරුවන් හට ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමට දහම් පාසල යොමුකිරීම තුළ දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවට ලබාදෙන අත්වැල අගය කල යුතුය.
මේ වන විට එහි විදුහල්පතිනිය ලෙස කටයුතු කරන්නේ ගරු මේරි වියානි කන්‍යා සොහොයුරියයි.