Church History

Image

කඩලාන ශාන්ත අන්තෝනි දෙව්මැදුරු පුරාණය

 

මොරටුව

 

'ලසා නොව යනෙන ලිය දැක නොම මැළියේ ...
     ...තොසා වඩන මග බැස මොරටුව එළියේ...'

 

කිවිවර, තොටගමුවේ ශ්‍රි රාහුල සුවාමිපාදයාණන් වහන්සේ විසින් විරචිත පරෙවි සදෙසෙහි රචිත මේ කව... මොරටුව පිළිබඳ සාහිත්‍ය ග්‍රන්ථයක සනිටුහන්වන ප්‍රථම වියමනයි.


"මුහුදු නදී උයන්තොට හතර මායිම තුළ පැවති තැනිතලා මුරඅටුව ගම පාලන බිමෙහි "

...යනුවෙන් මොරටුව වූ මුරඅටුව පිළිබද අතීත සන්නසක සඳහන් වන අතර ...

 

මොරටුවෙ... මොරටුමුල්ල...එනුවර..;නැගෙනහිරමුල්ලේ පිහිටියේය.

ඒ සන්නසෙහිම මාකබුර,බෝ ගහ කුඹුර,මහවත්ත යන සීමා, සීමා නිර්ණයන් කර ගනිමින් මොරටුමුල්ල හෙවත් ,මොරටු ගම්ගොඩ බිහි වූ බව සඳහන් වෙත්...

මොරටුවේ,මොරටුමුල්ලේ...,කඩලාන හෙවත් - කඩොල්කැලේ

 

කොළඹ කෝට්ටේ රජු පැවතිය කාලේ -
ඔයක් මැවුණි බෙල්ලන්තොට කඩොල්කැලේ...

යනුවෙන් සඳහන් වන ,කෝට්ටේ රජවාසලේ සිට තොටගමුවට යන මගෙහි කඩොල්කැලේ පිහිටියේය...

වරෙක කඩු ලෑ තැන කඩලාන වූ බවද ,කඩොල්+ආන කඩලාන වූ බවද සඳහන් වෙත්.

මේ..ඒ..කඩලානේ පිහිටි පෞරාණික ශා.අන්තෝනි දෙව්මැදුර පිළිබඳ වර්ෂ 1558 සිට 1882 දක්වා වූ වසර 324ක, ඓතිහාසික පුරාවෘත්තයයි.

එදා හෙළදිව යටත් විජිතයක්ව පවතින්න පෙරාතුව,මොරටුව දැඩි හින්දු භක්තියෙන් ඇළලි පුරවරයක් විය.හින්දු කොවිල් 12ක් පමණ ;මොරටු පුරවරයේ තිබූ බවත්...මිනිසුන් ධීවර වඩුමඩු හා ගොඩමඩ  ගොවිතැනින්..ගව මහීෂාදී පාලනයෙන් ජීවත් වූ බවත්.. හෙළ වංශාවලිය පෙන්වා දෙන සමයක වර්ෂ 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා කොළොම්තොටින් මෙරටට ගොඩබැසීය.

 

පෘතුගීසි පාලන සමය

පාදුවාහි ශා.අන්තෝනි බැතිය මොරටුවට,

ලොරෙන්සෝ ද අල්මේදාට පසුව,1511 දී ලෝපෝසෝරස් අල් බල්ගේරියා සෙන්පති තැන සමගින් පැමිණි,වෙළඳ ප්‍රජාවගේ දිව්‍ය පුජා හා ආගමීක පිළිවෙත් සිදුකිරිමට ,මෙරටට පැමිණි.. ජේසු නිකායික,ෆ්‍රැන්සිස්කානු ,දොමිනිකානු, අගෝස්තීනු හා කැපුචීන් නිකායන්ට අයත් පියවරුන් විසින්...එකල හින්දු භක්තියෙන් පිරි කඩලානේ පවුල් කීපයකට කතෝලික මූලධර්ම වැපිරූහ., එහි දිගුවක් ලෙස පෘතුගීසීන් මහත් සේ ඇලුම් කල, ඔවුනගේ දැඩි භක්ත්‍යාදරයට පාත්‍ර වූ පෘතුගීසී මුණිවර; ශා.අන්තෝනි මුණිබැතිය මොරටුව පුරා ප්‍රචලිත විය.ක්‍රමක්‍රමයෙන් කතෝලික හරපද්ධතීන් හා මුණිවර චරිතාපදානයෙන් මත් වූ ඔව්හූ දෙවියන් වහන්සේව සෙවීමට වඩවඩාත් උත්සුක වූහ. එහි ප්‍රතිපලයක් ලෙස..වර්ෂ 1558 දී  ශා.අන්තෝනි දෙව්මැදුරක්, වර්තමාන ශු.එම්මානුවෙල් දෙව්මැදුරු සුසාන භූමීය අසල පිහිටි බිමක කටු මැටියෙන් ඉඳිකළහ.

වර්ෂ 1552 දී පටන්ගත් වීදිය බණ්ඩාරත්,නිකපිටියේ බණ්ඩාරත්,සීතාවක රජුගේ උදව්වෙන් දියත් කල කිතුනු මර්දනය වර්ධනය වී,මොරටුවෙ බොරලුගොඩැල්ලේ[වත්මන් පල්ලියගොඩැල්ල] ශ්‍රී කුරුසයේ දෙව්මැදුර ඇතුළු දිවයිනේ බොහෝ දෙව්මැදුරු සමතලා වී තිබුණු සමයක ..දැඩි සතුරු බලවේගයන්ගෙන් ආරක්ෂා වී වරින් වර,තැනින් තැනට සංක්‍රමණය වූ කඩලාන දෙව්මැදුර;1740-1796 අතර විය හැකි යැයි අවිනිශ්චිත කාලයක වත්මන් බිමට ගෙන එමින් රහසේ ධර්මය ඇදහූහ.

1658 දී ශ්‍රී ලාංකීය දේශපාලනය යළිත් වෙනස් වී...පෘතුගීසි පාලනය නිමවිය.

 

ලන්දේසි පාලන සමය ඇරඹුණි

ලන්දේසි පාලන සමය හෙවත් කතෝලිකයින් රෙපරමාදුකරණය..

පෘතුගීසි පාලන සමයේ මෙන් නොව..මෙරට අත්පත් කරගත් ලන්දේසිහු;එකල කතෝලිකයිනට දැඩි දඬුවම් පමුණුවා කතෝලික පියවරුන් රටින් පිටුවහල් කොට,ඇතැමෙක් මරණයට පත් කොට කතෝලික ධර්මය තහනම් කර, ඕලන්ද රෙපරමාදු ධර්මය මෙරට ස්ථාපිත කළහ.

ඇතැමෙක් අළුත් ඕලන්ද නීතියට යටත්වද..ඇතැමෙක් තනතුරු ලාභ අපේක්ෂාවෙන්ද ඕලන්ද රෙපරමාදු ධර්මය වැළඳ ගත්හ.එහෙත් මොරටුමුල්ලේ ශ්‍රද්ධාවන්ත කතෝලිකයෝ ,කිසිඳු පූජකයෙකු නොමැතිව,ශුද්ධවූ කුරුසය හා දේවමාතා ප්‍රතිමාවන්,රහසේ රැකගනිමින් නිහඞව කල් ගෙවූහ

මොරටුව මැද ..කුරුසගස් මංකඩ කුරුසය;එකී ප්‍රාණපරිත්‍යාගීන්...සක්කාරම් රෝදයේ වද විඳි කතෝලිකයින් සිහිගන්වමින් ...ඒ විරුවනට උපහාර පිණිස තවමත් නිහඞව වැඩ හිඳීයි.

 

වර්ෂ 1887ට හිරු උදා විය...

 

ශ්‍රී ලංකාවේ තැනින් තැන සැඟවගිය කතෝලික විශ්වාසය යළිත් ස්ථාපිත කරමින් වන්දනීය ජුසේවාස් පියතුමෝ ශ්‍රී ලංකාවට වැඩම කළහ..හංවැල්ල,ගුරුබෑවිල හරහා මොරටු කලපුව දිගේ...මොරටුමුල්ලට සපැමිණියහ.

ඉන් අනතුරුව සිංහල කතෝලික සාහිත්‍යයේ පීතෘ ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාණෝද මොරටුවට සැපත් වූහ.අදත් සම්ප්‍රදාය නොනසා ගැයෙන පසන්...දකින පාස්කු  දුක්ප්‍රාප්තියන් මොරටුවට හුරු කලේ එතුමෝය.

 

බ්‍රිතාන්‍ය පාලන සමය

කතෝලික වසන්තයේ යළි උදාව

පෘතුගීසි පාලන සමයේ වසර 14ක් පමණ , ලන්දේසි පාලන සමයේ වසර 15ක් පමණ කාලයක් , පීඩාවට හා විඩාවට පත්ව සිටි : තනතුරු හා වන්දිහට්ටකම් වලට යටත්කල නොහැකි වු මොරටු කතෝලික ප්‍රජාවට බ්‍රිතාන්‍ය යුගය මහත් අත්වැසිල්ලක් විය .

කතෝලික සභාවට ලන්දේසින් විසින් පැන වූ තහනම් නීතිය ...... වර්ෂ 1805 මැයි 21 වන දින ඉංග්‍රිසි ජාතික, ශ්‍රිමත් ඇලෙක්සැන්ඩර් ජෝන්ස්ටන් ආණ්ඩුකාරවරයා විසින් අවලංගු කර , ආගමික නිදහස පිලිබඳ බලපත්‍රය ශ්‍රි ලංකාවට දානය කරන ලදී.

ආගමික නිදහස ලැබිමෙන් පසු, බ්‍රිතාන්‍ය මුඛ්‍ය ධර්මය වු ක්‍රිස්තු ධර්මය යළිත් සක්‍රීයව දියත් වු අතර...

මොරටු ජනතාවද, නව කර්මාන්තයක් ලෙස ස්ථාපිත උඩරට කෝපි සමග...ධන කුවේරයින් බවට පත් විය . ඔවුන්ගේ නොමඳ පරිත්‍යාගයෙන් කතෝලික දෙව්මැදුරු විශ්මයජනක ලෙස ඉඳිවන්න පටන් ගන්නා ලදි.

 

කඩලානේ ... බුරුල්ල කෝටු පල්ලිය පුළුල් වේ.

 

කතෝලික ධර්මයන් , රෙපරමාදු ධර්මයන් , ලන්දේසි පීඩනයන් අතර... දෝලනය වු කතෝලික පවුල් නැවත දෙව්මැදුරට එක්විම හේතුවෙන් ඉඩකඩ ප්‍රශ්නයක් මතුවිය... මේ වන විට මොරටුවේ මහ පල්ලියේ { ශා.සෙබස්තියන් පල්ලියේ } කට්ටල්කාර,ජාංච් මුහුප්පුරාළ { ම.වි.ජුවාම්  ප්‍රනාන්දු } විසින් ගෙන ආ... කුඩා සන්තන්තෝනි සුරුවම තැම්පත්ව, ශා.අන්තෝනි නමට තිරසාර ලෙස කැපකර තිබු... කඩලානේ කටුමැටි බුරුල්ල කෝටු පල්ලිය පුළුල් කිරිමේ තියුණු කතිකාවතක් ගොඩනැගී තිබිණි.

 

පල්ලියට ඉඩම්

වර්ෂ 1818 දී,පල්ලිය වත්තේ මුල් භාගය (පැණිබණ්ඩියා වත්තෙන් පොල්ගස් 24ක ප්‍රමාණයක්) වන්නකුවත්ත මිටිවඩුගේ කොර්නේලිස් ප්‍රනාන්දු හා හිතවතුන් විසින්ද,නැවතත්;1849 දී, මෙම පිරිසමද...1846 දී , ළිඳමුලගේ පේදුරු සිල්වා රේන්දරාල විසින් ද,එම වසරේදීම,ජුවන් සිල්වා,ජුසේ සිල්වා,මරියා සිල්වා සහ තවත් අය පාර සඳහාද               
1862 දී,ෆ්‍රැන්සිස්කු ඩයස්, සිල්වෙස්ත්‍රී ඩයස්, මරියා සිල්වා ඇතුළු පිරිසද... 1867 දී, ළිඳමුලගේ පේදුරු සිල්වා, බස්තියන් ප්‍රනාන්දු ද... දෙව්මැදුරට ඉඩම් පරිත්‍යාග කලබව සඳහන් වේ. 1867 සම්මුතියෙදී; පේදුරු සිල්වා රේන්දරාල දෙව්මැදුරට ඔප්පු කළ බස්නාහිර ඉඩම් කට්ටිය... සුසාන භූමිය සඳහා වෙන් කෙරිණ.

 

නව දෙව්මැදුරේ වැඩ ආරම්භ වේ

වර්ෂ 1876 දෙසැම්බර් 25,ඉතාලි ජාතික...ගෞරවණීය;
ප්‍රැන්සිස් බර්තියා පියනම නව දෙව්මැදුරට මුලපීරීය. පේදුරු ප්‍රනාන්දු,දොන් සාමුවෙල් ප්‍රනාන්දු, ජුලියස් පෙරේරා,පාවුළු මැන්දිස්,සීමන් ද මැල්,නිකලස් මැන්දිස් අන්නවිතැන,අන්තෝනි කුරේ අන්නවිතැන,ජොර්ජියානු
ප්‍රනාන්දු අන්නවිතැන මුදල් කමිටුවට පත්වුහ.ඉදිකිරිම් භාණ්ඩාගාරික ලෙස,වීරහැන්නැදිගේ ජුසේ ප්‍රනාන්දු ද - ප්‍රධාන බාස්කමට බස්තියන් ප්‍රනාන්දු ද,තෝරා පත් කරගත්හ. නව දෙව්මැදුර...ගොතික් කලාවට නිර්මිතව සැළසුම ඇඳීමට, ගෞරවණීය තඹරානි පියතුමන්ට භාරවිය.එහෙත් ගෞරවණිය බර්තියා පියතුමෝ නොසිතු මොහොතක ස්වාමින් තුල සැතපුණේය.ගෞරවණිය ෆීලික්ස් බර්ජරෙන්ති පියතුමෝ මොරටුව මිසම් පාලනාධිපති විය.

 

අළුත් අත්තිවාරමක් - මුල් ගලක්

වර්ෂ 1877 ජූනි 7 දින...මිසමේ සියල්ලෝම අත්තිවාරම් කැපිමේ මංගල්‍යට එක්විය.නොවාන හතරේ ජනතාව...දින 4ක් නොකඩවා සේවය කිරිමෙන් අනතුරුව,1877 ජූනි 13 ගෞරවණීය; ෆීලික්ස් බර්ජරෙන්ති පියතුමන් අතින්...අඟල් 18x18 ප්‍රමාණයේ කළුගලක් අඟල් 8x3 ප්‍රමාණයේ සුවිශේෂී තඹ සන්නස් පත් ඉරුවක්.රත්තරන් කුරුසයක්,සිලිං 10ක් රිදී හැන්දක්, මුල්ගල ලෙස තැම්පත් විය.

 

අමිල ශ්‍රමය ...නොමිලේ මුනිඳුට,

ගල් වැලි, ලී, පස් ..බොල්ගොඩ ගංදෑලෙ සිට ,බාල ,මහලු, ස්ත්‍රී, පුරුෂ... අතින්අත, කරින්කර හා කරත්ත වලින් දෙව්මැදුරු භූමියට සැපත් විය.දෙව්මැදුර අවට දැනට පවතින පාරවල්,දෙව්මැදුර ගොඩනැගීමත් සමගම බිහිවූ බව දෙව්මැදුරු සටහන් පෙන්වා දෙයි...

1881දී,දෙව්මැදුරේ බිත්ති නංවා නිමකල අතර,වහල-දොර ජනේල උළුවහු සඳහා රේන්ද මහත්වරුන් බොහෝ සේ උදව් කළහ...ළිඳමුලගේ පේදුරු සිල්වා යන නම ඉහළින්ම සඳහන් වේ.

 

අහස සිඹින, කන්ද උඩ පල්ලිය...
තරු මුණිඳුට කැපකෙරේ..

දිනය 1882 ජූනි 13

ගෞරවණීය කොළඹ අග්‍රරාජගුරු පදවියේ විගාරි ජෙනරල් ධූරයේ (අනුනායක) පොයිසට් ඕ.එම්.අයි. හිමිපාණන් වසර ගණනාවක් තිස්සේ කඩලානේ ජනතාව සිහින මැවූ,සිහින දෙව්මැදුර...යථාර්තයක් කරමින් පාදුවාවේ ශා.අන්තෝනි මුණිනමට කැපකරමින් ප්‍රථම මංගල දිව්‍ය පුජා යාගය සිදු කළහ.

අපේ දෙව්මැදුරට - ධනය, ශ්‍රමය, ශක්තිය හා ජීවීතය පුදකල ගරු පියවරුන්, මුතුන්මිත්තන්  ඇතුළු විශ්වාසයේ දරුවනට... නිත්‍ය මෝක්ෂ සුව සම්පත්තිය ප්‍රාර්ථනා කරමු...!

 

දෙව්මැදුරේ පූර්ව පුරාවෘත්තිය මෙයින් නිමවන අතර... මෙම ඓතිහාසික නිබන්ධනය සඳහා දෙව්මැදුරේ 75 ජයන්ති සැමරුම, මහා වංශය, ආදිත්‍ය වංශය 1910 moratuwa annual සහ ජන පරිශීලනය මූලාශ්‍ර ලෙස යොදා ගැනුණි.